DFCC බැංකුවේ ජාතික දීර්ඝකාලීන ෆිච් ශ්‍රේණිගත කිරීම ‘A+(lka) ලෙස තහවුරු කෙරේ.
August 18, 2021
DFCC බැංකුව මෙරට බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්රයේ ශක්තිමත්ම ආයතනයක් බව නැවත වරක් තහවුරු කරමින්, ෆිච් රේටිංස් ආයතනය (Fitch Ratings) DFCC බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම ‘A+(lka) ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ෆිච් රේටිංස් යනු ලොව ප්‍රමුඛතම ණය ශ්‍රේණිගත කිරීම් හා පර්යේෂණ ආයතනයකි.
මීට අමතරව ෆිච් රේටිංස් ආයතනය DFCC බැංකුවේ ශ්‍රී ලංකා රුපියල් ජ්‍යෙෂ්ඨ අනාරක්ෂිත ණය ශ්‍රේණිය ‘A+(lka)’ ලෙසද, Basel II- සහ Basel III-අනුකූල අප්‍රධාන ශ්‍රී ලංකා රුපියල් ණය ශ්‍රේණිය ‘A-(lka)’ ලෙසද ප්‍රකාශයට පත්කර තිබේ.
COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ පවා බාධාවකින් තොරව ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යාමට උපකාරී වූ මූල්‍ය ශක්තිය හේතුවෙන් මේ ආකාරයට ප්‍රශංසනීය මට්ටමේ ශ්‍රේණිගත කිරීම් හිමිකර ගැනීමට DFCC බැංකුවට හැකියාව ලැබී ඇත. ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු අතර DFCC බැංකුවට හිමි තත්ත්වය සහ, ක්ෂේත්රයේ තරගකාරීත්වයට සාපේක්ෂව ක්‍රමයෙන් අඩු වී යන ප්‍රාග්ධන ආරෝධක වැනි සාධක, එම බැංකුව වෙත මෙම ශ්‍රේණිගත කිරීම් පිරිනැමීමට හේතු වූ බව ෆිච් රේටිංස් ආයතනය පවසයි.
“COVID-19 වසංගත තත්ත්වය පාලන කිරීම සඳහා ගන්නා ලද පියවර හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වීම සහ ප්‍රධාන ආර්ථික අංශවල ඇති වූ බාධා හේතුවෙන් රට තුළ අභියෝගාත්මක මෙහෙයුම් පරිසරයක් ඇති වී තිබීම වැනි සාධක හමුවේ පවා DFCC බැංකුව අඛණ්ඩව ඉහළ ලාභයක් හා වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් වී තිබෙනවා. මෙම ශ්‍රේණිගත කිරීම්, අප මේ දුෂ්කර කාලපරිච්ඡේදයේදී අභියෝග වලට මුහුණ දෙමින් නොසැලී ඉදිරියට ගිය ආකාරය සම්බන්ධ ඉතා හොඳ සාක්ෂියක්. අනාගතය දෙස බලන විට, DFCC බැංකුව දිගින් දිගටම ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රයේ ශක්තිමත් සාමාජිකයෙකු ලෙස පෙරට යනු ඇති බව පැහැදිලියි.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා පැවසී ය.
වේගවත් ණය වර්ධනයක් පවත්වා ගැනීම සඳහා ප්රාග්ධනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ෆිච් ආයතනය පෙන්වා දෙයි. DFCC බැංකුව 2021 පළමු කාර්තුවේදී 4.2% ක වර්ධනයක් සහ 2020 දී 11.2% ක වර්ධනයක් අත්කරගෙන ඇති අතර, ඊට සාපේක්ෂව පෞද්ගලික අංශයේ සම බැංකු වල වර්ධනයේ සාමාන්‍යය 2.1% හා 5.7% විය. යහපත් මූල්‍ය ක්‍රියාකාරීත්වය, වත්කම් වල ගුණාත්මක භාවය ශක්තිමත් කිරීම සහ ප්රාග්ධනය වර්ධනය කරගැනීම යන කරුණු බැංකුවේ අනාගත ප්‍රමුඛතාවන් ලෙස පවතී. එමෙන්ම DFCC බැංකුවේ ණය හා තැන්පතු අනුපාතයේ වර්ධනය සහ, ව්‍යාපෘති සඳහා මූල්‍ය පහසුකම් සපයන්නෙකු ලෙස DFCC බැංකුව ඉදිරියෙන්ම සිටීමට සමත් වීමද ෆිච් රේටිංස් ආයතනයේ සැලකිල්ලට භාජනය වී තිබේ.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.
ලක්ෂ්මන් සිල්වා මහතා
අධ්යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී