
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුවේ ක්‍රිකට් කණ්ඩායම වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියේ C කාණ්ඩයේ ශූරතාව දිනාගනී
August 18, 2023

DFCC බැංකුවේ ක්‍රිකට් කණ්ඩායම ඓතිහාසික ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, 2023 වෙළඳ සේවා ක්‍රිකට් තරගාවලියේ C කාණ්ඩයේ ලීග් ශූරතාව දිනාගැනීමට සමත් විය. මෙය එම කණ්ඩායමේ සාමාජිකයන්ගේ දක්ෂතාවන්ට හා කැපවීමට මෙන්ම, රැකියාව සහ පෞද්ගලික ජීවිතය අතර සමබරතාව ඇතිකරමින් තිරසාර ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීමට DFCC බැංකුව දරන උත්සාහයටද මනා සාක්ෂියකි.
මෙම තරගාවලියේ අවසන් තරගය පැවැත්වුණේ DFCC බැංකුව නියෝජනය කණ්ඩායම සහ නවලෝක හොස්පිට්ල්ස් කණ්ඩායම අතර ය. අන්‍යෝන්‍ය සුහදත්වයෙන් හා ක්රීඩාශීලීත්වයෙන් යුතුව පැවති එම තරගයේදී මුලින් පන්දුවට පහරදුන් නවලෝක කණ්ඩායම ලකුණු 136 ක් රැස්කළ අතර, කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගය කඩුලු 7 කින් ජයගැනීමට DFCC බැංකුව නියෝජනය කණ්ඩායමට හැකියාව ලැබිණි.
“මෙය DFCC බැංකුවට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවටද පොදු ගුණාංග වන කැපවීම, කණ්ඩායම් හැඟීම සහ විශිෂ්ටත්වය හඹා යාම මතුකර දක්වන ජයග්‍රහණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. එමෙන්ම මෙය විශිෂ්ටත්වය උදෙසා DFCC බැංකුව දක්වන කැපවීමට මනා සාක්ෂියක්ද වනවා. අපට සුවිශේෂී අභියෝගයන් ලබාදෙමින්, අප සිතුවාටත් වඩා ඉහළ ජයග්‍රහණයක් අත්කර ගැනීමට අපට මාවත හෙළිකර දුන් අපගේ ප්‍රතිවාදී කණ්ඩායම්වලටත් මේ මොහොතේ අපගේ ස්තූතිය හිමි විය යුතුයි.” DFCC බැංකුවේ ක්‍රිකට් කණ්ඩායමේ නායක චමෝද් වික්‍රමසිංහ පැවසී ය.
තරගාවලිය තුළදී කොමර්ෂල් බැංකු කණ්ඩායම ලකුණු 73 කින් පරාජය කළ DFCC කණ්ඩායම, LOLC Holdings කණ්ඩායම සමග පැවති තරගයේදී ඉතාමත් උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 1 කින් පරාජයට පත් විය. එහෙත් නැවතත් තම ශක්තිය විදහා පෙන්වමින් ගුවන් තොටුපළ හා ගුවන් සේවා කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 7 කින් ජයගැනීමට DFCC බැංකුව නියෝජනය කණ්ඩායමට හැකියාව ලැබිණි. ඉන් අනතුරුව Nawaloka Hospital කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 4 කින්ද, Hemas Holdings සමග පැවති තරගය ලකුණු 161 කින්ද, DPMC කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 10 කින්ද ජයගත් DFCC බැංකුවේ ක්‍රිකට් කණ්ඩායම, LOLC Holdings කණ්ඩායම සමග පැවති අර්ධ අවසන් තරගය කඩුලු 7 කින් ජයගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබී ය.
කණ්ඩායමක් වශයෙන් සාමූහිකව අත්කරගත් ජයග්‍රහණවලට අමතරව පෞද්ගලික මට්ටමින්ද කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කිරීමට DFCC බැංකු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ සමත් වූහ. රවිඳු රත්නායක C කාණ්ඩයේ විශිෂ්ටතම පිතිකරු බවට පත් වූ අතර, නිපුන් ප්‍රේමරත්න විශිෂ්ටතම පන්දු යවන්නා බවට පත් විය. එමෙන්ම රවිඳු රත්නායක තරගාවලියේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වූ අතර, අවසන් තරගයේ වීරයා බවට පත් වූයේ නිපුන් ප්‍රේමරත්නයි.
“මෙම ජයග්‍රහණය අපගේ සාමාජිකයන් ක්‍රීඩාවේ මෙන්ම බැංකුකරණයේ සුභසිද්ධිය උදෙසා දක්වන උනන්දුවට මනා සාක්ෂියක්. DFCC බැංකුවේ පිටුබලය සමගින් අභියෝග රැසක් ජයගනිමින්, අප සැමටම ආඩම්බර විය හැකි ජයග්‍රහණයක් අත්කර ගැනීමට ඔවුන් සමත් වුණා. ඉදිරියටත් ඔවුන්ගෙන් මෙවැනි ජයග්‍රහණ දැකගැනීමට හැකි වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. මෙම තරගාවලියේදී DFCC බැංකුවේ නාමයට අත්කර දුන් කීර්තිය වෙනුවෙන් මා ඔවුන්ට ස්තූතිවන්ත වනවා.”DFCC බැංකුවේ සහකාර උප සභාපති සහ ක්‍රිකට් කළමනාකරු ලක්ෂිත වීරසිංහ මහතා පැවසී ය.
DFCC බැංකුව රැකියාව සහ පෞද්ගලික ජීවිතය අතර සමබරතාව පවත්වා ගනිමින් සාර්ථක ජීවිතයක් ගතකිරීමට තම කාර්යමණ්ඩලය නිරන්තරයෙන් දිරිගන්වයි. මෙම සාධකය, DFCC බැංකුවේ සාමාජික සාමාජිකාවන් රැකියාව තුළ සහ ඉන් පිටත වාර්තා කරන ජයග්‍රහණවලට පන්නරය දෙන ප්‍රධානතම හේතුවක් වී තිබේ. මෙම සාධනීය ලක්ෂණ ඉදිරියටත් පවත්වාගනිමින්, අඛණ්ඩව විශිෂ්ටත්වය හඹා යාමට තම කාර්ය මණ්ඩලය දිරිගැන්වීම DFCC බැංකුවේ අරමුණයි.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.
Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.