‘DFCC ආලෝකා’ ගිණුම් හිමි කාන්තාවන්ට Doc990 සේවාව නොමිලේ භාවිතා කිරීමට වරම්
April 18, 2023
DFCC බැංකුව පසුගියදා ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් සැපයීමේ පුරෝගාමියා වන Doc990 සේවාව සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කළේ ය. Doc990 යනු Dialog Axiata PLC මගින් ක්‍රියාත්මක කෙරෙන සේවාවක් වන අතර, මෙම හවුල්කාරීත්වය යටතේ ‘DFCC ආලෝකා’ ගිණුම් හිමි කාන්තාවන්ට නොමිලේ Doc990 සේවාව භාවිතා කිරීමට අවස්ථාව හිමි වනු ඇත. දැනටමත් ‘DFCC ආලෝකා’ ගිණුමක් හිමි කාන්තාවන්ට මෙන්ම අලුතින් ‘DFCC ආලෝකා’ ගිණුම් විවෘත කරන කාන්තාවන්ටද මෙම පහසුකම නොමිලේ හිමි වේ. මෙමගින් ඔවුන්ට පුළුල් පරාසයක පැතිරුණු ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් රාශියක් ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
“DOC 990 සමග මෙම හවුල්කාරීත්වයට එළඹීමට හැකි වීම අපට මහත් සතුටක්. ‘DFCC ආලෝකා’ හරහා අප ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට මූල්‍ය සේවාවන්ට එහා ගිය පුළුල් මට්ටමේ සේවාවන් එකතුවක් පිරිනමනවා. COVID-19 සහ අනෙකුත් රෝගවල ව්‍යාප්තිය මෙන්ම සෞඛ්‍ය වියදම් අධික ලෙස ඉහළ යාම නිසා, මේ ආකාරයට සහනදායී ලෙස සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට සැම දෙනාටම අවස්ථාව සලසා දීම අතිශයින් වැදගත්. මෙම එකඟතාව නිසා, හදිසි අවස්ථාවකදී මෙන්ම සාමාන්‍ය රෝග තත්ත්වයකදී ‘DFCC ආලෝකා’ ගිණුම් හිමි කාන්තාවන්ට ආරෝග්‍යශාලා වෙත යාමෙන් තොරව තම නිවෙස්වල සිටම වෛද්‍ය උපදෙස් ලබාගැනීමට හැකි වෙනවා. දරුවන් හා වියපත් දෙමාපියන් රැකබලාගැනීම ඇතුළුව තම එදිනෙදා ජීවිතයේ බහුවිධ භූමිකාවන්ට පණපොවන කාන්තාවන්ට මෙය ඉමහත් සහනයක් වේවි. මෙමගින් ඔවුන්ට ඉහළ ගුණාත්මකභාවයකින් යුත් සෞඛ්‍ය සේවාවන් හිමි වන නිසා, එය ඔවුන් මුහුණදෙන අවදානම් අවම කරමින් ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන පියවරක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් සම්බන්ධ ප්‍රමුඛයා වන Digital Health Private Limited විසින් Doc990 සේවාව පවත්වාගෙන යනු ලබයි. එම සේවාව මගින් ජනතාවට තම ජංගම දුරකථන භාවිතයෙන් සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට අවස්ථාව හිමි වේ. Dialog Axiata PLC සමාගමට අනුබද්ධව 2016 වසරේදී ආරම්භ කරන ලද Doc990 සේවාවට මේ වනවිට රෝහල් 140 කට අධික සංඛ්‍යාවක වෛද්‍යවරු 5,000 කට වැඩි පිරිසක් සම්බන්ධ වී සිටිති. www.doc.lk වෙබ් අඩවිය, 990 දුරකථන අංකය සහ Doc990 ජංගම යෙදවුම (Android සහ iOS) ඔස්සේ Doc990 සේවාව භාවිතා කළ හැකි වේ. නවීනතම තාක්ෂණයෙන් බලගැන්වෙන මෙම සේවාව, දිවයින පුරා විසිරී සිටින රෝගීන්ට සුදුසුකම් ලත් වෛද්‍යවරුන්, උසස් තත්ත්වයේ ඖෂධ අලෙවිසල් සහ නවීන පහසුකම් සහිත රසායනාගාර සමග සම්බන්ධ වීමට අවස්ථාව සලසා දෙයි.
“නව්‍ය සහ පහසු සෞඛ්‍ය සේවාවන් සඳහා පවතින ඉල්ලුම දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ ‘DFCC ආලෝකා’ සමග එක් වී ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට පැය 24 පුරා නවීනතම සෞඛ්‍ය සේවාවන් සැපයීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙමගින් ඔවුන්ට ඕනෑම සෞඛ්‍ය ගැටලුවකට විශ්වාසයෙන් යුතුව විසඳුම් සොයාගැනීමට අවස්ථාව ලැබේවි.” Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා පැවසී ය.
මෙය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට අත්වැලක් වෙමින් ඔවුන්ගේ සිහින හා අපේක්ෂාවන් ඉටුකරලීම සඳහා ‘DFCC ආලෝකා’ දරන උත්සාහයේ නවතම පියවර ලෙස හැඳින්විය හැකි වේ.
ඡායාරූපය: (වමේ සිට) – ඈන් සිල්වා (නීති නිලධාරිනී – DFCC බැංකුව), රුවනි වීරසිංහ (ජ්‍යෙෂ්ඨ සම්බන්ධතා කළමනාකාරිනී – පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර – DFCC බැංකුව), ආසිරි ඉද්දමල්ගොඩ (ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාරිභෝගික බැංකුකරණ සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රධානී – DFCC බැංකුව), ශේරා හසන් (Pinnacle සේවා/ශාඛා බැංකුකරණ සැලසුම් සහ ක්‍රියාත්මක කිරීම් ප්‍රධානී – DFCC බැංකුව), තිමල් පෙරේරා (ප්‍රධාන විධායක නිලධාරී – DFCC බැංකුව), සුපුන් වීරසිංහ (අධ්යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරී – Dialog Axiata PLC), සෝමශ්‍රී සුබ්‍රමනියම් (ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී – Digital Health පුද්. සමාගම), තීක්ෂණ ඒකනායක (ජ්‍යෙෂ්ඨ ගිණුම් කළමනාකරු – Digital Health පුද්. සමාගම), නිශානි ප්‍රනාන්දු (ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනී – ගිවිසුම් – සමූහ නීති හා නියාමන අංශය – Dialog Axiata PLC) සහ නවෝදා රත්නායක (ප්‍රවර්ධන ප්‍රධානී – Digital Health පුද්. සමාගම) යන මහත්ම මහත්මීන්
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Euromoney මගින් DFCC බැංකුව ‘2021 වසරේ මුදල් කළමනාකරණය සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා’ ලෙස නම්කරන ලද අතර, Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන එම බැංකුව ICRA Lanka Limited වෙතින් ‘[SL] A+’ ශ්‍රේණියද, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka)’ ශ්‍රේණියද හිමිකරගෙන තිබේ.