DFCC බැංකුව ඉන්දියාවේ HDFC බැංකුව සමග එක් වී ඉන්දියානු රුපියල් මුදල් ඒකකය සඳහා
March 28, 2023
DFCC බැංකුව ඉන්දියාවේ HDFC බැංකුව සමග එක් වී ඉන්දියානු රුපියල් මුදල් ඒකක සඳහා ‘නොස්ට්‍රෝ’ ගිණුමක් හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු රුපියල් මුදල් ඒකකය මෙරට නම්කළ විදේශ මුදල් වර්ගයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමග මෙම පියවර ගෙන ඇත. මෙම තීරණයත් සමග දෙරට අතර වාණිජ, සංචාරක සහ ආයෝජන කටයුතුවල වර්ධනයක් අපේක්ෂා කළ හැකි නිසා මෙම ගිණුම හඳුන්වා දීමට පියවර ගත් බව, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණ) ප්‍රින්ස් පෙරේරා මහතා පැවසී ය.
මෙම ගිණුම හඳුන්වා දීම තුළින්, ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන දෙරටෙහිම ආනයනකරුවන්ට හා අපනයනකරුවන්ට ප්රතිලාභ සැලසෙන ආකාරයට ඉන්දියානු රුපියල් මුදල් ඒකක භාවිතයෙන් ගනුදෙනු කිරීම සඳහා පහසුකම් සැලසීමට DFCC බැංකුවට හැකියාව ලැබේ. ඉන්දියාව යනු සාක් කලාපය තුළ ශ්‍රී ලංකාව සමග වැඩියෙන්ම ගනුදෙනු කරන රටක් වන අතර, යටිතල පහසුකම්, සම්බන්ධතා පහසුකම්, ප්‍රවාහන සේවා, නිවාස, සෞඛ්‍ය සේවා, ජීවනෝපාය මාර්ග සහ පුනරුත්ථාපනය, අධ්‍යාපනය සහ කර්මාන්ත සංවර්ධනය යනාදී අංශ රාශියක් සම්බන්ධයෙන් දෙරට අතර සමීප සම්බන්ධතා පවතී.
DFCC බැංකුව හඳුන්වා දුන් මෙම ඉන්දියානු රුපියල් මුදල් ඒකක ‘නොස්ට්‍රෝ’ ගිණුම නිසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට, රට තුළ පවතින ඇමරිකානු ඩොලර් හිඟයෙහි බලපෑමට ලක් නොවී, ඉන්දියානු රුපියල් භාවිතයෙන් ගනුදෙනු සිදුකළ හැකි වේ. මෙමගින් ඉදිරියේදී මෙරට හෝටල්වලටද ඉන්දියානු රුපියල් මගින් සිදුකරන ගෙවීම් භාරගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. දැනට පවතින දත්ත අනුව, 2023 වසරේ මුල් මාස දෙකේදී මෙරටට පැමිණි සංචාරකයන් අතරින් 13% ක්ම ඉන්දියානු සංචාරකයන් වූ අතර, මෙම පියවර මගින් දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ හැකි වේ.
ඉන්දියාවේ පෞද්ගලික අංශයට අයත් විශාලතම වාණිජ බැංකුවක් වන HDFC බැංකුව එරට තුළ ශාඛා 7,183 ක් පිහිටුවා ඇති අතර, එම බැංකුව සහ DFCC බැංකුව අතර ඇතිකරගත් මෙම එකඟතාව, දෙරට අතර ගනුදෙනු සඳහා සුරක්ෂිත හා විශ්වාසනීය අඩිතාලමක් වනු ඇත.
මෙම ගිණුම භාවිතයෙන් ඉන්දියාව සමග ගනුදෙනු කිරීමේදී අත්වන ප්රතිලාභ පිළිබඳව ආනයනකරුවන්, අපනයනකරුවන්, ආයෝජකයන්, ශිෂ්‍යයන් හා සංචාරකයන් වැනි පිරිස් දැනුවත් කිරීම සඳහා තම දීපව්‍යාප්ත ශාඛා ජාලය භාවිතා කිරීමට DFCC බැංකුව බලාපොරොත්තු වෙයි. මෙය දෙරටෙහි ව්‍යාපාරිකයන්ටත් සෙසු පුද්ගලයන්ටත් බෙහෙවින් වාසිදායක වනු ඇති අතර, දෙරට අතර ආර්ථික හා සංස්කෘතික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරන පියවරක්ද වනු නිසැක ය.
DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණ අංශ ප්‍රධානී) ප්‍රින්ස් පෙරේරා මහතා
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන එම බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.