
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුවේ, ‘Virtual Wallet’ සේවාවට ජාත්‍යන්තර සම්මානයක්
November 8, 2021

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුවේ ‘Virtual Wallet’ සේවාවට 2021 Global Banking & Finance Awards හිදී ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම Digital Wallet සේවාව’ සඳහා ලබාදෙන සම්මානය හිමි විය. ‘Virtual Wallet’ යනු DFCC බැංකුව මෙරටට හඳුන්වා දුන් පෙරළිකාරී ඩිජිටල් සේවාවකි.
අභියෝග වලට මුහුණ දිය හැකි ශක්තිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමින්, සියලුම දෙනා වෙත ඉහළම ප්රතිලාභ පිරිනැමීම සඳහා DFCC බැංකුව දරන උත්සාහය මේ වනවිට ජාත්‍යන්තර අවධානයට ලක්වී ඇති බවට මෙම සම්මානය සාක්ෂි දරයි. එමෙන්ම ‘Virtual Wallet’ වැනි නවෝත්පාදන යෙදවුමක් ඔස්සේ ගනුදෙනුකරුවන් ඇතුළු පොදු මහජනතාව වෙත ආර්ථික හා සමාජයීය වටිනාකම් තිළිණ කිරීමට DFCC බැංකුව ගන්නා උත්සාහය බෙහෙවින් සාර්ථක වී ඇති බව මෙමගින් පැහැදිලි වේ.
2015 වසරේදී හඳුන්වා දුන් DFCC Virtual wallet සේවාව, ශ්‍රී ලංකාව තුළ දියත් කරන ලද ප්‍රථම mobile wallet යෙදවුම ලෙස සැලකේ. මෙම සේවාව මගින් ගනුදෙනුකරුවන්ට තම ගිණුම් සහ වෙනත් පුද්ගලයන්ගේ ගිණුම් අතර ක්ෂණිකව මුදල් හුවමාරු කිරීම සිදුකළ හැකි අතර, වෙනත් බැංකු වල ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ගෙවීම් සිදුකිරීමද කළ හැකි වේ. එමෙන්ම උපයෝගීතා සේවා බිල්පත්, රක්ෂණ වාරික, සහ ආයතනික ගෙවීම් ඇතුළු ගෙවීම් රාශියක් සඳහා DFCC Virtual wallet භාවිතා කළ හැකි අතර, එය භාෂා තුනෙන්ම භාවිතා කළ හැකි වීම ගනුදෙනුකරුවන්ට විශාල පහසුවක් වී ඇත. එපමණක් නොව, COVID-19 තත්ත්වය හමුවේ සුරක්ෂිතව තම නිවෙස් වලම හිඳිමින් මෙම ගෙවීම් සිදුකළ හැකි වීම, ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන පියවරක්ද වී තිබේ.
ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෑතකදී නව අතුරු මුහුණතක් (Interface) සමග නව විශේෂාංග 25 කට අධික සංඛ්‍යාවක් එක්කරමින් මෙම සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට DFCC බැංකුව කටයුතු කළේ ය. ඒ අනුව දැන් ගනුදෙනුකරුවන්ට DFCC Virtual wallet ඔස්සේ ගිණුම් ශේෂයන්, පොලී අනුපාත, සහ ස්ථාවර තැන්පතු කල්පිරීමේ දිනයන් ඇතුළු තවත් බොහෝ තොරතුරු පරීක්ෂා කිරීමේ හැකියාව ලැබී ඇත. තවද ගනුදෙනුකරුවන්ට තම ක්‍රෙඩිට් කාඩ්පත් තොරතුරු (මූලික හා අතිරේක) මෙම Virtual wallet තුළට එක්කර, පසුගිය මාස 3 ක කාලයක ගනුදෙනු හා ගිණුම් ප්‍රකාශ පරීක්ෂා කිරීම කළ හැකි වේ. දැනටමත් DFCC බැංකුවේ ගනුදෙනුකරුවන් වන පුද්ගලයන්ට DFCC Virtual wallet app බාගත (Download) කරගෙන තම ඩෙබිට් කාඩ්පත භාවිතා කර ලියාපදිංචි වීම හෝ, DFCC බැංකුවේ පාරිභෝගික සේවාව අමතා සහය ලබාගැනීම ඔස්සේ DFCC Virtual wallet සේවාව ලබාගත හැකි වේ. මීට අමතරව DFCC Virtual wallet සේවාව mCash සේවාව සමග එක්වී නව බිල්පත්කරුවන් 40 කට අධික පිරිසක් සඳහා ගෙවීම් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර, විද්‍යුත් වාණිජ සේවා සමාගම් සඳහා ගෙවීම් සිදුකිරීමේ හැකියාවද පුළුල් කර තිබේ. DFCC Wallet යනු ඉතාම සරල අතුරු මුහණතක් සහිත ජංගම බැංකුකරණ සේවාවක් වන අතර, මෙම වසර තුළ ඒ සඳහා ලියාපදිංචි වන සහ එය භාවිතා කරන පිරිස බෙහෙවින් වැඩි වී ඇත.
2011 වසරේදී ආරම්භ වූ Global Banking and Finance Review සම්මාන වැඩසටහන, ගෝලීය මූල්‍ය ක්ෂේත්රය තුළ සිදු වන නවෝත්පාදනයන්, ජයග්‍රහණ, ක්රමෝපායන්, සහ තීරණාත්මක වෙනස්කම් තුළින් ඇති වන යහපත් බලපෑම් ඇගයීමට ලක්කරයි. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මූල්‍ය කර්මාන්තය තුළ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත් වන සමාගම් හා ආයතන වලට මෙම වැඩසටහන තුළදී සම්මාන පිරිනැමේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය. “DFCC බැංකුවේ ‘Virtual Wallet’ සේවාවට 2021 Global Banking & Finance Awards හිදී ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම Digital Wallet සේවාව’ සඳහා ලබාදෙන සම්මානය හිමි වීම අප ලද විශාල ගෞරවයක්. මෙය නවීනතම තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට ජාත්‍යන්තර තලයේ සේවාවක් ලබාදෙමින්, අභියෝග වලට මුහුණ දිය හැකි සහ මූල්‍යමය වශයෙන් සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අප දරන උත්සාහයට මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැකියි. මෙම ඇගයීම, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වශයෙන් සමාජ හා ආර්ථික වටිනාකම් නිර්මාණය කිරීමේ ප්‍රතිඥාව දිගින් දිගටම ඉටුකරමින්, මෙරට බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්රයේ ඉදිරියටම යාමට අප තවදුරටත් දිරිමත් කරනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.”
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.