DFCC බැංකුව විදේශ ශ්‍රමිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීම සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙයි
August 18, 2023
DFCC බැංකුව විදේශ ශ්‍රමිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීම සඳහා ‘රට යන අපි හැමෝගෙම කතාවද මේ?’ නමින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ප්‍රකාශයට පත්කර තිබේ. DFCC බැංකුවේ මූල්‍ය ප්‍රේෂණ අංශයේ මූලිකත්වයෙන් පිළියෙල කරන ලද මෙම මරගොපදේශ මාලාවේ අරමුණ වන්නේ, තමන් වෙහෙස මහන්සියෙන් උපයන මුදල් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට එවමින් උපරිම ප්රතිලාභ හිමිකරගන්නා අතරම, රටේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් කිරීමට දායක වීම සඳහා විදේශ ශ්‍රමිකයන්ට විධිමත් මගපෙන්වීමක් ලබාදීම ය.
“කාටත් ගැළපෙන බැංකුව ලෙස DFCC බැංකුව සෑම විටම උත්සාහ කරන්නේ, ලොව පුරා විසිරී සිටින විදේශ ශ්‍රමිකයන් ඇතුළුව අපගේ ගනුදෙනුකරුවන් සියලුම දෙනාට, නිවැරදි මූල්‍ය තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීමටයි. විදේශ ශ්‍රමිකයන්ට තම අනාගතය වඩාත් හොඳින් සුරක්ෂිත කරගැනීමට සහ, ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ මුදල් උපයන්නන් ලෙස ඔවුන්ට හිමිවන ප්රතිලාභවලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට මගපෙන්වීම සඳහා අප මෙම මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශ මාලාව ප්‍රකාශයට පත්කළා.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.
මෙම මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශ මාලාව, විදේශ ශ්‍රමිකයන් තම මූල්‍ය කටයුතු සැලසුම් කිරීමේදී සහ ආයෝජන තීරණ ගැනීමේදී විශ්වාසනීය මගපෙන්වීමක් වනබව නිසැක ය. මූල්‍ය සාක්ෂරතාව වැඩිදියුණු කරගැනීම මගින් ඔවුන්ට මූල්‍ය වශයෙන් වඩාත් සුරක්ෂිත අනාගතයක් උදාකර ගැනීමටත්, ශ්‍රී ලංකාවේ වෙසෙන සිය ආදරණීයයන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමටත් දායක වීමටත් හැකි වනු ඇත.
“විදේශ ශ්‍රමිකයන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් දක්වනවා. එමෙන්ම ඔවුන් අපගේ සමාජයේ වැදගත් කොටසක්. මෙම මාර්ගෝපදේශ මාලාව ප්‍රධාන මූල්‍යමය ගැටලු රැසකට පිළිතුරු සපයමින් ඔවුන්ට ඇති විකල්පයන් මොනවාද යන්න පැහැදිලි කරන අතරම, ශ්‍රී ලංකාවට මුදල් එවීමේදී නීත්‍යානුකූල ක්‍රමවේද භාවිතා කිරීමේ වැදගත්කම සහ අවිධිමත් ක්‍රම මත විශ්වාසය තැබීමේ අවදානම පිළිබඳව ඔවුන්ව දැනුවත් කරනවා. මීට අමතරව ඉදිරියේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාල සමග අත්වැල් බැඳගෙන, විදේශ ශ්‍රමිකයන් සඳහා ප්‍රාදේශීය මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමටත් අප බලාපොරොත්තු වනවා.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර බැංකු සේවා, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම් මහතා පැවසී ය.
මෙම මාර්ගෝපදේශ මාලාව දියත් කිරීමේ උත්සවය පසුගියදා DFCC බැංකුවේ ප්‍රධාන කාර්යාලයේදී පැවති අතර, එම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී – ආයතනික කටයුතු, එල්. ඒ. පී. කේ. ලියන්වල මහතාද සහභාගී විය. එහිදී මෙම වැඩසටහනට සහය පළකරමින් සහ එහි කාලීන වැදගත්කම අගය කරමින් ඒ මහතා මෙසේ අදහස් දැක්වී ය. “විදේශ ශ්‍රමිකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව නැංවීම සඳහා DFCC බැංකුව දරන මෙම උත්සාහය අප බෙහෙවින් අගය කරනවා. මෙය අපගේ විදේශ ශ්‍රම බලකායේ ආරක්ෂාව හා සුභසිද්ධිය තහවුරු කිරීම සඳහා අප දරන උත්සාහයට සමගාමී මෙහෙවරක් ලෙස හැඳින්විය හැකියි. දැනුවත් සහ මූල්‍යමය වශයෙන් සබුද්ධික විදේශ ශ්‍රමිකයන්ට සිය පවුල්වලට, ප්‍රජාවන්ට සහ රටට වැඩි යහපතක් සිදු කළ හැකි බව අප විශ්වාස කරනවා.”
‘රට යන අපි හැමෝගෙම කතාවද මේ?’ මාර්ගෝපදේශ මාලාව, මූල්‍යමය වශයෙන් අන්තර්කරණය වූ සමාජයක් ගොඩනැංවීම සම්බන්ධයෙන් DFCC බැංකුව සතු දැක්ම පදනම් කරගත් තවත් සුවිශේෂී පියවරකි. මෙම මගපෙන්වීම හරහා, වඩාත් නිවැරදි මූල්‍ය තීරණ ගැනීමට සහ වගකීම්සහගත හා සුරක්ෂිත මූල්‍ය ක්‍රමවේදයන් අනුගමනය කිරීමට විදේශ ශ්‍රමිකයන් යොමුකරවීමට DFCC බැංකුව බලාපොරොත්තු වෙයි. එමෙන්ම මෙය තිරසාර මූල්‍ය පහසුකම් සහ අන්තර්කරණය වූ ප්‍රවේශයක් තුළින් වඩාත් ශක්තිමත් ප්‍රජාවන් ගොඩනැංවීම අරමුණු කරගත් DFCC බැංකුවේ තිරසාරත්ව ක්රමෝපායට සමගාමී වන පියවරක්ද වේ.
DFCC බැංකුව විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් පිළියෙල කළ මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශ මාලාවේ පිටකවරය
ඡායාරූපය:
DFCC බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා, නව මූල්‍ය සාක්ෂරතා මාර්ගෝපදේශ මාලාවේ පිටපතක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී – ආයතනික කටයුතු, එල්. ඒ. පී. කේ. ලියන්වල මහතා වෙත පිළිගැන්වූ අවස්ථාව
වමේ සිට:
DFCC බැංකුවේ ඉෂානි කුඩාගමගේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී (මූල්‍ය) ඩබ්ලිව්. ඒ. කේ. කුමාරි, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර බැංකු සේවා, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඇන්ටන් ආරුමුගම්, DFCC බැංකුවේ අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී – ආයතනික කටයුතු, එල්. ඒ. පී. කේ. ලියන්වල, DFCC බැංකුවේ උප සභාපතිනි සහ අලෙවිකරණ හා තිරසාර සංවර්ධන අංශ ප්‍රධානී නිල්මිණි ගුණරත්න සහ සහකාර උප සභාපති (ජාත්‍යන්තර බැංකු සේවා, ප්‍රේෂණ සහ ව්‍යාපාර සංවර්ධන) ඉරංග අමිලාන යන මහත්ම මහත්මීන්
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.
Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.