
Media Centre
Economic, social and environment development is deeply embedded in our values and informs how we conduct business, develop products and services and deliver on our goals and commitments.
DFCC බැංකුවේ ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන තවත් සන්ධිස්ථානයක් පසුකරයි
September 22, 2023

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවන ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන මේ වනවිට වසර 5 ක කාලයක් පුරා සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. මෙහි 2022 අදියරේ සහතිකපත් ප්රදානය පසුගියදා පැවති අතර, එහිදී සිසු සිසුවියෝ 81 දෙනෙක් සහතිකපත් හිමිකරගත්හ. DFCC බැංකුව වෙනුවෙන් ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහනේ අධ්‍යාපන කටයුතු මෙහෙයවනු ලබන්නේ Gateway Educational Services (පුද්.) සමාගම මගිනි
මෙම වැඩසටහන, අ.පො.ස. උසස් පෙළ විභාගය අවසන් කළ, අවුරුදු 18 ත් 25 ත් අතර වයසේ පසුවන තරුණ තරුණියන් තුළ තම අනාගතය පිළිබඳ බලාපොරොත්තු දල්වන සුවිශේෂි අධ්‍යාපන වැඩසටහනකි. එම තරුණ තරුණියන්ට තරගකාරී රැකියා වෙළඳපොළට අවශ්‍ය වන භාෂා කුසලතා වර්ධනය කරගැනීමට මෙම වැඩසටහන මගින් මහඟු කාර්යභාරයක් ඉටු වේ. දැනටමත් DFCC බැංකුව මෙම පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කරන තරුණ තරුණියන්ට සීමාවාසික පුහුණු අවස්ථා සහ රැකියා අවස්ථා පිරිනමන අතර, ඉදිරියේදී රැකියාවෙහි යෙදෙමින් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සලසා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමටද සැලසුම් කර තිබේ.
තවද, මෙම වැඩසටහන, අභියෝගවලට ඔරොත්තු දියහැකි/ සාර්ථකව මුහුණ දිය හැකි ප්‍රජාවන් නිර්මාණය කිරීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයට සමගාමීව ක්‍රියාත්මක වන තවත් එක් අංගයකි. එය DFCC බැංකුවේ දීර්ඝකාලීන තිරසාරත්ව දැක්ම වන ‘6Es’ සංකල්පයේ කොටසක් වන Education හෙවත් අධ්‍යාපනය යන අංශය යටතේ ක්‍රියාත්මක වේ. එමෙන්ම එය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතර 17 වන ඉලක්කය වන, ඉලක්ක ජයගැනීම සඳහා හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීම සමග සමපාතව ක්‍රියාත්මක වන්නෙකි.
මේ දක්වා ගම්පහ, කළුතර, මහනුවර, කුරුණෑගල, ගාල්ල, අම්පාර, රත්නපුර, පොළොන්නරුව, යාපනය, බදුල්ල, අනුරාධපුර, වවුනියාව, ත්‍රිකුණාමලය, නුවර එළිය සහ හම්බන්තොට ඇතුළු ප්‍රදේශ රැසක තරුණ තරුණියන් 800 කට අධික පිරිසකට මෙම වැඩසටහන මගින් සෙත සැලසී තිබේ. වැඩසටහන තුළ ඉහළම දක්ෂතා පෙන්නුම් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට DFCC බැංකුවේ සීමාවාසික පුහුණු අවස්ථාද හිමි විය.
“තරුණ තරුණියන් තුළ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩිදියුණු කිරීම මගින් ඔවුන්ට මංපෙත් රාශියක් උදාවෙනවා. ඉංග්‍රීසි භාෂා දැනුම තිබීම මගින් ඔවුන්ට වඩාත් පහසුවෙන් රැකියා සොයාගැනීමට හැකි වන අතර, අන්තර්ජාලය ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ අසීමිතව දැනුම සහ තොරතුරු සපයා ගැනීමටත් ඔවුන්ට හැකියාව ලැබෙනවා. මෙය ගෝලීය පුරවැසියෙකු වශයෙන් තම නිම්වළලු පුළුල් කරගනිමින්, මෙරට තුළ මෙන්ම විදේශ රටවල පවතින අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ලැබෙන අගනා අවස්ථාවක්.” DFCC බැංකුවේ උප සභාපතිනි සහ අලෙවිකරණ හා තිරසාර සංවර්ධන අංශ ප්‍රධානී නිල්මිණි ගුණරත්න මහත්මිය පැවසුවා ය.
‘සැමට ඉංග්‍රීසි’ අධ්‍යාපන වැඩසටහන තරගකාරී ලෝකයක් තුළ සාර්ථක වීමට තරුණ පරපුරට අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදෙමින්, තිරසාර සංවර්ධනයක් ඔස්සේ රටට දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා DFCC බැංකුව දරන උත්සාහයට මනා උදාහරණයකි.
මාස 3 ක කාලයක් ක්‍රියාත්මක වන මෙම පාඨමාලාව මගින් සන්නිවේදන කුසලතා, ව්‍යාකරණ, සවන්දීම, කියවීම සහ ලිවීම වැනි අත්‍යවශ්‍ය අංග ආවරණය කෙරෙන අතර, ප්‍රායෝගික ඉගෙනුම සඳහා එහිදී ක්‍රියාකාරකම් පදනම් කරගත් ඉගෙනුම් ක්‍රමවේදයක් අනුගමනය කෙරේ. එමෙන්ම එහිදී මාසයක කාලයක් තුළ සාමූහිකව කටයුතු කිරීම, කාල කළමනාකරණය, ඉදිරිපත් කිරීම් සිදුකිරීම සහ සම්මුඛ සාකච්ඡාවලට මුහුණ දීම වැනි අමතර කුසලතා වැඩිදියුණු කිරීමද සිදුකරනු ලබයි. ‘සැමට ඉංග්‍රීසි’ වැඩසටහන ඔස්සේ සාම්ප්‍රදායික බාධා බිඳදමමින්, තරුණ පරපුරට අධ්‍යාපනය ඔස්සේ අනාගත රැකියා අවස්ථා උදාකර දෙමින්, රටේ සංවර්ධනයට තිරසාර දායකත්වයක් දැක්වීම DFCC බැංකුවේ අරමුණ වී ඇත.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.
Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.