DFCC ලීසිං සහ අයිඩියල් මෝටර්ස් එක් වී සුවිශේෂී ලීසිං සේවා සහ විසඳුම් පෙළක් හඳුන්වා දෙයි
June 5, 2023
DFCC බැංකුවේ ලීසිං අංශය වන DFCC ලීසිං සහ, මහින්ද්‍රා රථවාහන හා අමතර කොටස් සම්බන්ධයෙන් මෙරට එකම බලයලත් නියෝජිතයා වන අයිඩියල් මෝටර්ස් එක් වී සුවිශේෂී ලීසිං සේවා සහ විසඳුම් එකතුවක් හඳුන්වා දී තිබේ. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා දෙපාර්ශ්වය විසින් අත්සන් තබන ලදි. මෙය අයිඩියල් මෝටර්ස් සමාගමේ වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට වාසි රැසක් ගෙනෙන පියවරක් වනු ඇත.
“අපගේ ගනුදෙනුකරුවන්ට වෙළඳපොළේ හොඳම ලීසිං පොලී අනුපාත සහ අනෙකුත් වාසි පිරිනැමීම සඳහා මේ ආකාරයට අයිඩියල් මෝටර්ස් සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. රථවාහන ලීසිං සම්බන්ධයෙන් DFCC ලීසිං සතු විශේෂඥ දැනුම සහ අප ලබාදෙන විශිෂ්ට සේවාව සමගින්, අයිඩියල් මෝටර්ස් සමාගම මෙරටදී එකලස් කළ වාහන මිලදී ගැනීමට හැකි වීම ඔවුන්ට ලැබෙන අගනා අවස්ථාවක් වේවි.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.
“පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම සහ පහසු ලෙස ලීසිං සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා DFCC ලීසිං සමග මෙවැනි හවුල්කාරීත්වයකට එළඹීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. විශිෂ්ටතම සේවාවක් සලසමින් පාරිභෝගික තෘප්තිය සහතික කිරීම සමාගම් දෙකේම අරමුණ වන නිසා, මෙය ඉතාමත් ඵලදායී හවුල්කාරීත්වයක් බවට පත්වේවි.” අයිඩියල් මෝටර්ස් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂිකා (නීති හා ආයතනික කටයුතු) නිමිෂා වෙල්ගම මහත්මිය පැවසුවා ය.
ඉහළම ප්‍රමිතියෙන් යුතුව දේශීයව වාහන එකලස් කිරීම සිදුකරන අයිඩියල් මෝටර්ස් සමාගම මේ වනවිට ශ්‍රී ලංකාවේ කා අතරත් ජනප්‍රිය නාමයක් බවට පත් වී තිබේ. මෙම හවුල්කාරීත්වය නිසා පාරිභෝගිකයන්ට Mahindra KUV100 SUV රථ සහ Mahindra Bolero Pickup රථ මිලදී ගැනීමේදී DFCC ලීසිං වෙතින් සුවිශේෂී ලීසිං පහසුකම් හිමි වනු ඇත.
DFCC ලීසිං සහ අයිඩියල් මෝටර්ස් යනු විශිෂ්ට සේවාව මෙන්ම විශ්වාසනීයත්වය සම්බන්ධයෙන් විශාල පිළිගැනීමක් හිමිකරගෙන සිටින සමාගම දෙකකි. එම සමාගම් අතර ඇතිකරගත් මෙම එකඟතාව, පාරිභෝගිකයන්ට තම පෞද්ගලික භාවිතය හෝ වාණිජ අරමුණු සඳහා උසස් ප්‍රමිතියෙන් යුත් වාහන සහනදායී පොලී අනුපාත යටතේ මිලදී ගැනීම සඳහා ලැබෙන අගනා අවස්ථාවක් වනු නො-අනුමාන ය.
ඡායාරූපය:
DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා සහ අයිඩියල් මෝටර්ස් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂිකා (නීති හා ආයතනික කටයුතු) නිමිෂා වෙල්ගම මහත්මිය අවබෝධතා ගිවිසුම හුවමාරු කරගත් අවස්ථාව
(වමේ සිට):- අයිඩියල් මෝටර්ස් සමගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අලෙවි) හර්ෂ පෙරේරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ආයතනික විකිණුම් සහ ටෙන්ඩර් ව්‍යාපාර) මාලක වේහැල්ල සහ අධ්‍යක්ෂිකා (නීති හා ආයතනික කටයුතු) නිමීෂා වෙල්ගම යන මහත්ම මහත්මීන් සහ DFCC බැංකුව වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ, උප සභාපතිනි (පොදු නීති කටයුතු) සමන්ත්රි කාරියවසම්, සහකාර උප සභාපති අසංක පටබැඳිගේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු චාමර පීරිස් යන මහත්ම මහත්මීන්
අයිඩියල් මෝටර්ස් පිළිබඳව
අයිඩියල් මෝටර්ස් (පුද්.) සමාගම යනු රථවාහන සහ අමතර කොටස් ආනයනය හා අලෙවිය සිදුකරන ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් වන අයිඩියල් සමූහ ව්‍යාපාරයේ පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගමකි. එම සමාගම 2009 වසරේ සිටම ඉන්දියාවේ Mahindra & Mahindra Company Limited මගින් නිෂ්පාදනය කරනු ලබන රථවාහන සහ යතුරුපැදි සම්බන්ධයෙන් මෙරට එකම බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරයි.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 66 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන එම බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.